අමතක නොවන පාස්කු මතකයට වසර 7යි
පාස්කු ප්‍රහාරයට අදට (21) වසර 7ක් සම්පූර්ණ වෙයි. එම විපතේ වින්දිතයින් සිහිපත් කරමින් දිවයින පුරා සියලුම දේවස්ථානවල අද දිනය පුරා විශේෂ ආගමික වැඩසටහන් සංවිධානය කර තිබේ.
ජාතික කතෝලික ජන සන්නිවේදන අධ්‍යක්ෂක ජූඩ් ක්‍රිෂාන්ත ප්‍රනාන්දු පියතුමා සඳහන් කළේ, අද පෙරවරුවේ සෑම දෙව්මැදුරකම වින්දිතයන්ට ගෞරව දක්වමින් සැමරුම් පැවැත්වෙන බවයි.
ඒ අනුව මළවුන්ගේ සීනුව නාද කිරීම, විනාඩි 2ක නිශ්ශබ්දතාවයක්, ඉටිපන්දම් හෝ පොල්තෙල් පහන දැල්වීම සහ විශේෂ යාඤා මෙහෙයන් පැවැත්වීම අද පෙරවරුවේ සිදු කෙරේ.
කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේදී අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපානන්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ දේව මෙහෙයක් පැවැත්වීමට නියමිත අතර, එය හේතුවෙන් එම ප්‍රදේශය අවට විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කර තිබේ.
පොලීසිය පවසන්නේ, අද උදෑසන 7.00 සිට දේව මෙහෙය අවසන් වන තෙක් එම ප්‍රදේශයේ මාර්ග කිහිපයක රථවාහන ගමනාගමනය සීමා කරන බවයි.
එමෙන්ම කටුවාපිටිය දේවස්ථානයේද විශේෂ දේව මෙහෙයක් පැවැත්වීමට නියමිතය.
මෙයට සමගාමීව අද පස්වරු 4ට මීගමුව මාරිස්ටෙලා ක්‍රීඩාංගණයෙන් ආරම්භ වන යැදුම් පා ගමන, රදගුරු හිමිපානන් සහ ගිහි-පැවිදි පූජක පිරිස සමඟ කටුවාපිටිය සාන්ත සෙබස්තියන් දේවස්ථාන පරිශ්‍රයෙන් අවසන් කිරීමට සැලසුම් කර ඇත.