ලංකාවේ අවුරුද්දකට 7,000ක් බිලිගන්නා නොපෙනෙන සතුරා- සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් බිහිසුණු හෙළිදරව්වක්
වායූ දූෂණයේ බලපෑම් හේතුවෙන් වසරකට මෙරට අකල් මරණ 7,000ක් පමණ වාර්තා වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කර තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරිසර සෞඛ්‍ය සහ වෘත්තීය සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චාන්දනී විතාන මහත්මිය සඳහන් කළේ, ලොව පුරා පුද්ගලයින් මිලියන 7ත් 8ත් අතර සංඛ්‍යාවක් වාර්ෂිකව වායූ දූෂණයේ බලපෑම් හේතුවෙන් මිය යන බවයි .
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍ය චාන්දනී විතාන මහත්මිය මෙම අදහස් පළ කර ඇත.
එතුමිය තව දුරටත් සදහන් කළේ මෙවන් අදහසකි
“වායු දුෂණය කියන එක ලෝකයේ එන්න එන්න වැඩිවෙලා තියෙනවා. ඒ නිසා නොයෙකුත් විදිවලින් අකල් මරණ සංඛ්‍යාව වැඩි වෙලා තියෙනවා වායු දුෂණය නිසා සිදුවෙන. මිලියන 7ක් 8ක් ලෝකයේ වායු දුෂණය නිසා අකල් මරණ සිදුවෙනවා. ඒ වගේම ලංකාවෙත් 7,000ක් පමණ වසරකට වායු දුෂණයෙන් අකල් මරණ සිදුවෙනවා. මේකට හේතුව තමා වාතයේ තියෙන අහිතකර වායු අංශු. කාබන්ඩයොක්සයිඩ් සහ කාබන්මොනොක්සයිඩ් වගේ පී.එම්. 2.5ට අඩු ඉතා සියුම් අංශු කෙලින්ම ස්වශන මාර්ගය හරහා කෙලින්ම පෙනහලු ඇතුළටම කිදා බහිනවා. රුධිරයට වුණත් ඇතුළු වෙන්න පුළුවන්. ඒ නිසා ඇති වෙන නොයෙකුත් ස්වශන රෝග තියෙනවා. ප්‍රධාන වශයෙන්ම ඇදුම සහ හතිය මෙන්ම කල්පවතින පෙනහලු රෝග. ඒ විතරක් නෙමෙයි හාට්ඇටෑක්, හෘද රෝග, අංශභාගය වැනි රෝග හැදෙනවා වායු දුෂණය නිසා.”
සියලුම ආකාරයේ ගිනිතැබීම්වලින් අපේ පරිසරය දුෂණය වෙනවා. ගෘහස්ත වායු දුෂණය පස්ගුණයකින් වැඩියි පරිසරයට වඩා. කුස්සිය ගත්තොත් කෑම පිසින්නේ දර ළිපේ. දර දහනය වෙද්දි අහිතකර වාතය එළියට පිටවෙනවා. මේ වාතය එළියට යන විදියක් නෑ. ඒ නිසා අහිතකර වාතය එකතු වෙනවා. ඉස්සර පෙනහලු පිළිකා තිබුණේ සිගරට් බොන පිරිමින්ට දැන් කාන්තාවන්ට පෙනහලු පිළිකා ගොඩක් වැඩිවෙනවා. ඒ නිසා සංවෘත තැනක ඉඳන් භූමිතෙල් ළිපක උයන එක සුදුසු නෑ ,,