නව තාක්ෂණයෙන් මාධ්‍ය කලාව යාවත්කාලීන කරමින් රත්නපුර මාධ්‍යවේදීන් 53කට වෘත්තීය පුහුණුවක්

Report

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච්.එස්.කේ.ජේ. බණ්ඩාර මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ සංවිධානය කළ "ඇසිදිසි පියවර" 2026 රත්නපුර දිස්ත්‍රික් මාධ්‍යවේදීන් සඳහා වූ වැඩමුළුව පසුගිය (03) දා රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී සාර්ථකව පැවැත්විණි.

රත්නපුර දිස්ත්‍රික් ලේකම් සහ දිසාපති එම්.ජී. ලලිත් ආනන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩමුළුව සඳහා දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීන් 53 දෙනෙකු සහභාගී වූහ.

මෙම වැඩමුළුවේ ප්‍රධාන අරමුණ වූයේ මාධ්‍යවේදීන්ගේ දැනුම, වෘත්තීය කුසලතා සහ හැකියාවන් තවදුරටත් ප්‍රවර්ධනය කිරීමයි. වැඩමුළුවේදී ජනාධිපති මාධ්‍ය උපදේශක සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චන්දන සූරියබණ්ඩාර මහතා විශේෂ දේශනයක් පැවැත්වූ අතර, මාධ්‍යකරණයේදී කෘත්‍රිම බුද්ධිය (AI) ඵලදායී ලෙස භාවිත කිරීම පිළිබඳ ආචාර්ය සංජන හත්තොටුව මහතා දේශනයක් ඉදිරිපත් කළේය.

එමෙන්ම මාධ්‍ය ආචාර ධර්ම සහ ශ්‍රී ලංකාවේ වත්මන් මාධ්‍ය භාවිතය පිළිබඳ ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසන්න පෙරේරා මහතා දේශනයක් පැවැත්වීය.

වැඩමුළුවට එක් වූ ප්‍රවීණ හා නවක මාධ්‍යවේදීන් සඳහන් කළේ, තම වෘත්තීය දැනුම සහ කුසලතා වර්ධනය කර ගැනීමට මෙම වැඩමුළුව ඉතා ප්‍රයෝජනවත් වූ බවයි.

එහිදී අදහස් දැක්වූ රත්නපුර දිස්ත්‍රික් ප්‍රවීණ මාධ්‍යවේදී අජිත්ලාල් ශාන්ත උදය මහතා පැවසුවේ, විද්‍යුත්, මුද්‍රිත සහ සමාජ මාධ්‍ය ඇතුළු ඕනෑම මාධ්‍ය ක්ෂේත්‍රයක නියැලෙන මාධ්‍යවේදියෙකු නිරන්තරයෙන් නව දැනුම, නව කුසලතා සහ නව තාක්ෂණය සමඟ යාවත්කාලීන වීම අත්‍යවශ්‍ය බවයි.

එම අරමුණ ඉටුකර ගැනීම සඳහා "ඇසිදිසි පියවර" වැඩමුළුව ඉතා වැදගත් වැඩසටහනක් බවද ඔහු සඳහන් කළේය. මෙම අවස්ථාවට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ සහකාර ප්‍රවෘත්ති අධ්‍යක්ෂ (සන්නිවේදන) එල්.පී. තිලකරත්න මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.