අකුරේගොඩ ඝාතනයේ අගතියට පත් පාර්ශවය වෙනුවෙන් නීතීඥයින් 50ක් ඉදිරිපත් වෙයි
තලංගම, අකුරේගොඩදී නීතීඥයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තැබීමෙන් ඝාතනය වූ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සොහොයුරන් දෙදෙනා අද (18) කඩුවෙල මහෙස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා ඉදිරියේ අධිකරණයට ඉදිරිපත් කරන ලදි.
අගතියට පත් පාර්ශවය වෙනුවෙන් නීතීඥවරුන් 50කට ආසන්න සංඛ්‍යාවක් පැමිණ සිටියද, සැකකරුවන් වෙනුවෙන් අද දිනයේ කිසිදු නීතීඥවරයෙකුගේ සහභාගිත්වයක් නොසිටිම විශේෂත්වයක් විය.
මහෙස්ත්‍රාත්, සැකකරුවන්ගෙන් තමන්ට අධිකරණය වෙත කිසිවක් පැවසීමට අවශ්‍යදැයි විමසා සිටියදී, ඔවුන් ප්‍රකාශයක් කිරීමට කැමැත්ත දක්වමින් එය මහෙස්ත්‍රාත් නිල මැදිරිය තුළ ලබා ගැනීමට ඉල්ලා සිටියහ.
අධිකරණය, සැකකරුවන් දෙදෙනා මාර්තු 4 දක්වා රක්ෂිත බන්ධනාගාරයට යොමු කරන ලෙස නියම කළේය.
මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන්, බස්නාහිර පළාත දකුණු දිස්ත්‍රික් අපරාධ කොට්ඨාසය විසින් කළ විමර්ශන මඟින්, වෙඩි තැබූකරුවන් භාවිත කළ ගිනිඅවි ප්‍රවාහනය කිරීමේ චෝදනාවට අදාලව සොහොයුරන් දෙදෙනා කොට්ටාවේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ පස්වරුවේ පොල්ගස්ඕවිට ප්‍රදේශයේදී තවත් සැකකරුවකු වන ‘පොල්ගස්ඕවිට ඩිලා’ අත්අඩංගුවට ගැනීම් සිදුකරන ලදී. එම අකුන ඩිලා 72 පැය රඳවා ප්‍රශ්න කිරීමට පොලීසියට අවසර හිමිව තිබේ.