තායි–මියන්මාර දේශසීමාවේ අපරාධ කඳවුරු ගැන නවතම හෙළිදරව්වක් – 5000කට වැඩි පිරිසක් ගැන අලුත්ම තොරතුරු එළියට

Report

තායි-මියන්මාර දේශසීමා වංචා කඳවුරුවල තවමත් 5,000කට වැඩි පිරිසක් සිරවී සිටින බව අනාවරණය වෙයි. තායිලන්තය හා මියන්මාරය අතර දේශසීමා ප්‍රදේශයේ ක්‍රියාත්මක අන්තර්ජාල වංචා ජාලවල තවමත් පුද්ගලයින් 5,300කට අධික පිරිසක් රඳවාගෙන සිටින බව මානව හිමිකම් ක්ෂේත්‍රයේ ක්‍රියාකරන සංවිධානයක් අනාවරණය කර තිබේ.

මානව ජාවාරම් වින්දිතයින්ට සහාය ලබාදෙන සිවිල් සමාජ ජාලයක් සඳහන් කරන්නේ, මෙම පිරිස මියන්මාරයේ සන්නද්ධ කණ්ඩායම් බලපෑම යටතේ පවතින ප්‍රදේශ කිහිපයක ස්ථාපිත කර ඇති වංචා මධ්‍යස්ථානවල රඳවා සිටින බවයි.

එම සංවිධානයේ තොරතුරු අනුව, සිරවී සිටින පිරිස අතර චීන ජාතිකයින් විශාල සංඛ්‍යාවක් මෙන්ම මියන්මාර, තායිලන්තය, පිලිපීනය, මැලේසියාව, බ්‍රසීලය, රුසියාව, කෙන්යාව සහ උගන්ඩාව ඇතුළු රටවල් රැසක පුරවැසියන්ද සිටිති.

ජාත්‍යන්තර සංවිධාන පෙන්වා දෙන්නේ දකුණු සහ අග්නිදිග ආසියාවේ ක්‍රියාත්මක මෙවැනි වංචා ජාල මගින් වාර්ෂිකව ඩොලර් බිලියන ගණනක ආදායම් උපයා ගන්නා බවයි.

බොහෝ අවස්ථාවලදී රැකියා අවස්ථා ලබාදෙන බවට පොරොන්දු වී විදේශිකයන් මෙම මධ්‍යස්ථාන වෙත ගෙනගොස් බලහත්කාරයෙන් වංචා මෙහෙයුම් සඳහා යොදවන බවද සඳහන් වේ.

පසුගිය වසරේ තායිලන්තයේ සහාය ඇතිව ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුම් මාලාවකදී දහස් ගණනක් මුදාගැනීමට හැකි වූවත්, තවදුරටත් විශාල පිරිසක් එම ජාලවල ග්‍රහණයේ පසුවන බව නවතම වාර්තා මගින් හෙළි වී ඇත.

මෙම තත්ත්වය මානව ජාවාරම්, අන්තර්ජාල වංචා සහ සංවිධානාත්මක අපරාධ ජාල සම්බන්ධයෙන් කලාපීය ආරක්ෂක අංශ සහ මානව හිමිකම් සංවිධාන අතර දැඩි අවධානයට ලක්ව තිබේ.