ප්‍රධාන ගුවන් තොටුපළක් ලේ විලක් වෙයි -සන්නද්ධ කණ්ඩායමක් කඩාවැදී එල්ල වූ ප්‍රහාරයෙන් 35ක් මරුට
ගුවන්තොටුපළට එල්ල වූ ප්‍රහාරයෙන් 35ක් මරුට අප්‍රිකානු රාජ්‍යයක් වන නයිජර්හි ප්‍රධානතම ගුවන් දොරටුව වන ඩියෝරි හමානි ජාත්‍යන්තර ගුවන්තොටුපළට බ්‍රහස්පතින්දා එල්ල වූ සන්නද්ධ ප්‍රහාරයකින් පුද්ගලයන් 35 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.
මියගිය පිරිස අතර ප්‍රහාරකයින් 22 දෙනෙකු, හමුදා සෙබළුන් 11 දෙනෙකු සහ සිවිල් වැසියන් දෙදෙනෙකු සිටින බව වාර්තා වේ.
gunතවත් ප්‍රහාරකයින් සිව්දෙනෙකු තුවාල ලබා ඇති අතර සැකකරුවන් 20 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අගනුවර නියාමිහි පිහිටි මෙම ගුවන්තොටුපළ වෙත කඩාවැදුණු සන්නද්ධ පිරිසක් සහ ආරක්ෂක අංශ අතර ඇති වූ දැඩි වෙඩි හුවමාරුවෙන් අනතුරුව ප්රචණ්ඩත්වය පාලනය කර ඇති බව බලධාරීහු සඳහන් කළහ.
ප්‍රදේශවාසීන්ට උදෑසන යාඥාවන් අවසන් කළ විගස විශාල පිපිරීම් සහ වෙඩි තැබීම් ශබ්ද ඇසුණු බව ද සාක්ෂිකරුවන් පවසයි. මෙම ප්‍රහාරයේ වගකීම අල්-කයිඩා සංවිධානයට අනුබද්ධිත ජමාත් නුස්රත් අල්-ඉස්ලාම් වල්-මුස්ලිමින් (JNIM) සන්නද්ධ කණ්ඩායම විසින් භාරගෙන ඇත.
ආරක්ෂක අංශ විසින් සිදුකළ මෙහෙයුම්වලදී RPG-7 රොකට් විදින යන්ත්‍ර, AK-47 වර්ගයේ ගිනි අවි, ග්‍රෙනේඩ්, පුපුරණ ද්‍රව්‍ය, සන්නිවේදන උපකරණ සහ විශාල පතොරම් තොගයක් ද අත්අඩංගුවට ගෙන තිබේ.
ප්‍රහාරයෙන් අනතුරුව ගුවන්තොටුපළ අවට ප්‍රදේශය දැඩි ආරක්ෂාව යටතට ගෙන ඇති අතර, ආරක්ෂක හමුදා විසින් ප්‍රදේශයට ඇතුළු වන හා පිටවන වාහන සෝදිසි කිරීම් ද ක්‍රියාත්මක කර ඇත.
ඩියෝරි හමානි ජාත්‍යන්තර ගුවන්තොටුපළ නයිජර්හි ඉතා සංවේදී ආරක්ෂක ස්ථානයක් ලෙස සැලකෙන අතර එය සිවිල් ගුවන් සේවා මධ්‍යස්ථානයක් මෙන්ම හමුදා කඳවුරක් ලෙස ද ක්‍රියාත්මක වේ.
එමෙන්ම නයිජර්, මාලි සහ බුර්කිනා ෆාසෝ රාජ්‍යයන්ගෙන් සමන්විත සහෙල් රාජ්‍ය සන්ධානයේ (AES) පහසුකම් කිහිපයක් ද එහි පිහිටා ඇත. මෙය පසුගිය මාස පහකට අඩු කාලයක් තුළ එම ගුවන්තොටුපළට එල්ල වූ දෙවන ප්‍රහාරය වන අතර, ජනවාරි මාසයේදී ද එල්ල වූ ප්‍රහාරයකින් හමුදා නිලධාරීන් සිව්දෙනෙකු තුවාල ලබා ප්‍රහාරකයින් 20 දෙනෙකු මියගොස් තිබුණි.
ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින් අප්‍රිකානු සංගමයේ කොමිසමේ සභාපති මහමුද් අලි යූසුෆ් එය දැඩි ලෙස හෙළා දැක ඇති අතර, ගුවන්තොටුපළ ආරක්ෂා කර ගැනීමට සමත් වූ නයිජර් ආරක්ෂක හමුදාවන්ගේ ක්‍රියාකලාපය ද අගය කර තිබේ.