තරුණයන් 28,000කට ප්‍රථමාධාර පුහුණුවක් - දිවයින පුරා හදිසි ප්‍රතිචාර ජාලයක් සැකසේ

Report

ශ්‍රී ලංකාවේ ප්‍රජා සෞඛ්‍ය ආරක්ෂාව ශක්තිමත් කිරීම සහ අනතුරු හේතුවෙන් සිදුවන මරණ හා ස්ථිර ආබාධ අවම කිරීමේ අරමුණින් තරුණ තරුණියන් 28,000 දෙනෙකු පුහුණු කිරීමේ ජාතික ප්‍රථමාධාර වැඩසටහන ඊයේ (30) ආරම්භ කෙරිණි.

තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහරගම ජාතික තරුණ සේවා සභා පරිශ්‍රයේදී පැවැති උත්සවයකින් මෙම වැඩසටහන ආරම්භ විය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයට අයත් ජාතික තරුණ සේවා සභාව සහ ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි. “සෑම ග්‍රාම නිලධාරී වසමකටම අවම වශයෙන් නිසි පුහුණුව ලත් තරුණ ප්‍රථමාධාර ලබාදෙන්නන් දෙදෙනෙකු” බිහිකිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන මෙම වැඩසටහනේ පළමු අදියර යටතේ දිවයින පුරා තරුණ තරුණියන් 28,000කට ප්‍රථමාධාර සහ මූලික ජීවිතාරක්ෂණ ක්‍රම (Basic Life Support - BLS) පිළිබඳ න්‍යායික හා ප්‍රායෝගික පුහුණුව ලබාදීමට නියමිතය.

රජයේ බදු ආදායම වාර්තාගත ලෙස ඉහළ ගොස් රු. ට්‍රිලියන 2.71 ඉක්මවයි

රජයේ බදු ආදායම වාර්තාගත ලෙස ඉහළ ගොස් රු. ට්‍රිලියන 2.71 ඉක්මවයි

මෙහි ප්‍රධාන ඉලක්කය වන්නේ දිවයිනේ ග්‍රාම නිලධාරී වසම් 14,000ක් ආවරණය වන පරිදි හදිසි අවස්ථාවලදී ක්‍රියාකළ හැකි පුහුණු ප්‍රථමාධාර ශිල්පීන්ගෙන් සමන්විත ජාලයක් නිර්මාණය කිරීමයි.

මෙම පුහුණුව මඟින් හදිසි අනතුරු, මාර්ග අනතුරු, ස්වභාවික ආපදා සහ වෙනත් හදිසි සෞඛ්‍ය තත්ත්වයන්වලදී නිවැරදි ප්‍රථමාධාර ලබාදීම, රෝගීන් හෝ අනතුරට ලක්වූ පුද්ගලයන් ආරක්ෂිතව රෝහල්ගත කිරීම සහ කඩිනම් ප්‍රතිචාර දැක්වීම සඳහා අවශ්‍ය කුසලතා තරුණයන් වෙත ලබාදීමට අපේක්ෂා කෙරේ.

වැඩසටහනේ තාක්ෂණික අධීක්ෂණ කටයුතු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකය විසින් සිදුකරන අතර, රටපුරා වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ සම්බන්ධීකරණ වගකීම ජාතික තරුණ සේවා සභාව විසින් දරනු ලබයි.

පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩසටහන්, දිස්ත්‍රික් මට්ටමින් තරුණයන් තෝරාගැනීම, පුහුණු මධ්‍යස්ථාන සංවිධානය කිරීම සහ වැඩසටහන ග්‍රාමීය මට්ටම දක්වා ගෙනයාම එම සභාව මගින් සිදුකිරීමට නියමිතය.

සමාරම්භක උත්සවයේදී “ප්‍රථමාධාර සහ මූලික ජීවිතාරක්ෂණ” අත්පොත එළිදැක්වීමද සිදු වූ අතර, පුහුණුව සඳහා එක්වන තරුණ තරුණියන් වෙත එහි පිටපත් ලබාදීම සිදු කෙරිණි. මෙහි පළමු පුහුණු අදියර ලෙස දකුණු සහ බස්නාහිර පළාත් නියෝජනය කරන තරුණ තරුණියන් 30 දෙනෙකු සඳහා පුහුණුව ආරම්භ කර ඇත.

පුහුණුව සාර්ථකව අවසන් කරන පිරිසට ප්‍රථමාධාර උපකරණ කට්ටල සහ ජාතික වශයෙන් පිළිගත් සහතිකපත් ලබාදීමටද සැලසුම් කර තිබේ.

මෙම අවස්ථාවට තරුණ කටයුතු හා ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා, ශ්‍රී ලංකාවේ UNICEF නියෝජිතවරිය එමා බ්‍රිගම් මෙනවිය, ජාතික තරුණ සේවා සභාවේ සභාපති හා අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ සුපුන් විජේරත්න මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීන්, වෛද්‍යවරුන් සහ තරුණ තරුණියන් රැසක් එක්ව සිටියහ.

රටම බලන් සිටි අස්වැසුම වැඩිහිටි දීමනාව ගැන දැනුම්දීමක් - අද සිට බැංකු ගිණුම්වලට

රටම බලන් සිටි අස්වැසුම වැඩිහිටි දීමනාව ගැන දැනුම්දීමක් - අද සිට බැංකු ගිණුම්වලට