අමාත්‍ය බංගලා 24ක් පෞද්ගලික අංශයට
කොළඹ නගරයේ පිහිටි රජයට අයත් අමාත්‍ය බංගලා 24ක් වාණිජ සහ සංස්කෘතික අරමුණු වෙනුවෙන් පෞද්ගලික අංශයට ලබාදීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.
මෙම ව්‍යාපෘතිය හරහා කෞතුකාගාර, විවේකී ස්ථාන, සිල්ලර වෙළඳාම, අවන්හල් සහ සේවා ස්ථාන එකිනෙක මුසු වූ "සංස්කෘතික කලාපයක්" (Cultural Loop) නිර්මාණය කිරීම රජයේ අපේක්ෂාවයි.
මෙම සංවර්ධන කටයුතු යටතේ ස්ටැන්මෝ චන්ද්‍රවංකය, මැකෙන්සි පාර, කැප්පෙටිපොළ මාවත සහ පැජට් පාර යන ප්‍රදේශවල පිහිටි බංගලා 12ක් සිල්ලර වෙළඳාම හෙවත් Boutique Suites, කැෆේ සහ ආපනශාලා සඳහා වෙන් කෙරෙනු ඇත.
බෞද්ධාලෝක මාවතේ පිහිටි D2 සහ D4 නිවාස සිල්ලර වෙළඳාම, තානාපති කාර්යාල සහ නිවාස සඳහා ද, ස්කෙල්ටන් පාරේ පිහිටි E1 සහ E2 බංගලා බුටික් හෝටල් සහ සිල්ලර වෙළඳාම සඳහා ද වෙන් කිරීමට අනුමැතිය ලැබී තිබේ.
මීට අමතරව විජේරාම මාවත සහ කොබ්බෑකඩුව මාවත කලාපයේ පිහිටි බංගලා 09ක් නිවාස, තානාපති කාර්යාල සහ කාර්යාල පරිශ්‍ර ලෙස සංවර්ධනය කිරීමට නියමිතය.
මෙම ව්‍යාපෘතිය සඳහා ආයෝජකයන් තෝරා ගැනීමේදී 'අභිලාෂ ප්‍රකාශ කිරීමේ' ක්‍රියාවලිය වෙනුවට වඩාත් විනිවිදභාවයකින් යුත් 'යෝජනා කැඳවීමේ' ක්‍රියාවලිය අනුගමනය කරන ලෙස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයාට නියෝග කර ඇත.
රජයේ ඉඩම් ආඥා පනතේ ප්‍රතිපාදනවලට යටත්ව, මෙම දේපළ වසර 30ක බදු කාලසීමාවක් සඳහා පෞද්ගලික අංශයට ලබාදීමට තීරණය කර තිබේ.
ජනාධිපති කාර්යාලය, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සහ තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව හඳුනාගෙන ඇති මෙම බංගලා 24, නඩත්තු පිරිවැය ඉහළ යාම හේතුවෙන් රජයට බරක් නොවී ආර්ථික උත්පාදන මධ්‍යස්ථාන ලෙස පරිවර්තනය කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.