මෙරට සෞඛ්‍ය සේවාවට එන්න ඉන්න ඔයාට සුබ ආරංචියක්
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් පරිදි සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විවිධ වෘත්තීන්හි නව පත්වීම් 2,652ක් ඉදිරි මාසය තුළ ලබාදීමට පියවර ගෙන ඇත .
මෙම පත්වීම් ලබාදීමේ ප්‍රධාන අරමුණ වන්නේ මෙරට නිදහස් සෞඛ්‍ය සේවා පද්ධතියේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම, රෝහල් පද්ධතිය වඩාත් කාර්යක්ෂම කිරීම සහ රෝගී සත්කාරක සේවා බාධාවකින් තොරව පවත්වාගෙන යාම බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සදහන් කර තිබේ.
ඒ අනුව, මානව සම්පත් සංවර්ධන වැඩපිළිවෙළ යටතේ දීර්ඝ කාලයකට පසු පවතින පුරප්පාඩු පිරවීමේ කටයුතු කඩිනමින් ආරම්භ කර ඇති අතර, සෞඛ්‍ය කාර්ය සහායක ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් සඳහා මෙම පත්වීම් ලබාදීමට නියමිතය.
බස්නාහිර පළාතේ සෞඛ්‍ය කාර්ය සහායක පළමු කණ්ඩායම ලෙස 627 දෙනෙකුට හෙට (04) දින පත්වීම් ලිපි ප්‍රදානය කිරීමට සැලසුම් කර ඇති බවද අමාත්‍යාංශය සඳහන් කරයි. ඊට අමතරව, සෞඛ්‍ය කාර්ය සහායක පත්වීම් කාණ්ඩ කිහිපයක් යටතේ දිවයින පුරා ක්‍රමානුකූලව පත්වීම් ලබාදීමට නියමිතය.
ඒ අනුව ජූලි 16 දින රාජ්‍ය සෞඛ්‍ය කළමනාකරණ සහකාර 247 දෙනෙකුට පත්වීම් ප්‍රදානය කිරීමට නියමිත අතර, ජූලි 18 දින දෙවන අදියර යටතේ සෞඛ්‍ය කාර්ය සහායක 600 දෙනෙකුට පත්වීම් ලබාදීමට සැලසුම් කර ඇත. එසේම අගෝස්තු 01 දින තෙවන අදියර යටතේ සෞඛ්‍ය කාර්ය සහායක 762 දෙනෙකු, ක්ෂේත්‍ර මදුරු මර්දන සහායක 295 දෙනෙකු සහ සුළු සේවා පාලක 121 දෙනෙකු සඳහාද පත්වීම් ප්‍රදානය කිරීමට නියමිත බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් දැනුම් දී තිබේ.