නිලධාරීන්ගේ රැහැන් පොරයෙන් පිළිකා එන්නත් 160,000ක් ගබඩාවේ - මාස 3කට රෝගීන් අනතුරේද?
ඖෂධ නියාමන අධිකාරිය (NMRA) සහ වෛද්‍ය සැපයුම් අංශය (MSD) අතර හටගෙන ඇති ආයතනික සම්බන්ධීකරණ දෝෂයක් හේතුවෙන්, පිළිකා රෝගීන්ට අත්‍යවශ්‍ය ජීවිතාරක්ෂක එන්නත් 160,000ක ප්‍රමාණයක් වෛද්‍ය සැපයුම් ඒකකයේ ගබඩාවල සිරවී ඇති බවට වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය පෙන්වා දී ඇත.
තවද අදාළ එන්නත එන තනි පෙට්ටියෙහි සියලු දත්ත හා එම සිලින්ජරයේ ඉදිරිපස නිවැරදි ලේබලය, නිෂ්පාදිත දිනය සහ කල් ඉකුත්වීමේ දිනය මෙන්ම නිෂ්පාදනයේ ගුණාත්මක බව නිවැරදිව සඳහන්ව තිබියදීත්, ලේබලයේ පිටුපස ඇති පරිපාලනමය ගැටලුවක් මුල් කරගනිමින් වෛද්‍ය සැපයුම් ඒකකය විසින් මෙම ඖෂධ භාරගැනීම ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වී ඇත
රුපියල් 900ක වැනි වටිනාකමක් ඇති මෙම එන්නත මේ වනවිට කළුකඩ මිලට අලෙවිවන බවත්, එය රුපියල් 25,000කට වැඩි බවත් වාර්තා වේ. එහෙත් මිල ගණන්වලටද මෙම එන්නත් ලබාගැනීමට නොහැකි බව සදහන් ය.
තවද 'කීමෝතෙරපි' ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන්ගේ ප්‍රතිශක්තිකරණය ඉහළ නැංවීම සඳහා මසකට රෝගීන් 25,000කට ආසන්න පිරිසකට මෙම එන්නත් අනිවාර්‍යෙන්ම අවශ්‍යය.
මෙම එන්නත් තොගය සිලින්ජරයෙ පිටුපස ලේබල් කිරීම සඳහා යළි හරවා යැවුවහොත් එම තොගය මෙරටට නැවත ලැබීමට අවම වශයෙන් මාස 3ක කාලයක් ගතවේ.
ඒ අනුව ඉදිරි මාස 3 ඇතුළත පිළිකා රෝගීන් 75,000ක් පමණ දැඩි ජීවිත අවදානමකට මුහුණ දීමට සිදුවනු ඇත
වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය වැඩිදුරටත් සදහන් කළේ මෙම අර්බුදයට කඩිනම් විසඳුමක් ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා වහාම මැදිහත් වී සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්, පිළිකා රෝග විශේෂඥයන් සහ රුධිර රෝග පිළිබඳ විශේෂඥයන් සම්බන්ධ කරගනිමින් හදිසි සාකච්ඡාවක් පවත්වා මෙම එන්නත් තොගය, රෝගීන් වෙත ලබාදීමට පියවර ගත යුතු බව ජාතික මට්ටමේ අත්‍යවශ්‍ය අවශ්‍යතාවක් බවයි .