ප්‍රබල ‘භාවි’ කුණාටුව පිලිපීනය දෙදරුම් කවයි - නායයෑම්වලින් 15කට වැඩි පිරිසක් මියයයි
පැසිෆික් කලාපය හරහා හමා යමින් පවතින ප්‍රබල භාවි සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් පිලිපීනයේ ඇති වූ නායයෑම්වලින් පුද්ගලයින් 15කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම සුළි කුණාටුව හේතුවෙන් තායිවානය, ජපානය සහ උතුරු මරියානා දූපත් ඇතුළු රටවල් රැසක් දැඩි ලෙස පීඩාවට පත්ව ඇති අතර, එය ඉදිරි දින කිහිපය තුළ චීනය දෙසට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ක්‍රමයෙන් දුර්වල වෙමින් පවතින භාවි සුළි කුණාටුව, මිලියන 10කට ආසන්න ජනතාවක් වාසය කරන නැගෙනහිර චීනයේ වෙන්ෂෝ නගරය වෙත ළඟා වීමට නියමිත බව වාර්තා වේ.
ඒ අනුව, එම ප්‍රදේශවලට අධික වර්ෂාපතනය, හදිසි ගංවතුර සහ නායයෑම් පිළිබඳ අනතුරු ඇඟවීම් දැනටමත් නිකුත් කර ඇත.
මේ අතර, මීට පෙර චීනය සහ තායිවානයට බලපෑ මේසැක් සුළි කුණාටුව හේතුවෙන් චීනයේ ඇති වූ ජලගැලීම් තත්ත්වය තවමත් සම්පූර්ණයෙන් පහව ගොස් නොමැති බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.