අභියෝග මැද ජයග්‍රහණය කරා යන්න මනස පුහුණු කරන ක්‍රම 10ක්
ශක්තිමත් ශරීරයක් ගොඩනගා ගැනීමට නිතර ව්‍යායාම කළ යුතු සේම, ශක්තිමත් මනසක් ගොඩනගා ගැනීමටත් දෛනික පුහුණුව අවශ්‍ය වේ. ජීවිතයේ විශාල අභියෝගවලට මුහුණ දීමට, අසාර්ථකත්වයන් ජය ගැනීමට සහ ඉලක්ක සපුරා ගැනීමට මානසික ශක්තිය ඉතා වැදගත් වේ. මානසික ශක්තිය යනු ගැටලු නොමැති ජීවිතයක් නොවෙයි. ගැටලු පැමිණෙන විට ඒවා නිවැරදිව කළමනාකරණය කරගෙන ඉදිරියට යාමේ හැකියාවයි. මානසික ශක්තිය වර්ධනය කරගැනීමට උපකාරී වන පුරුදු 10ක් මෙන්න.
1. ඍණාත්මක සිතුවිලි වෙනස් කරගන්න
බොහෝ අවස්ථාවල අපගේ මනස අසාර්ථකත්වය පිළිබඳ බියෙන් පිරී යයි. “මේක කවදාවත් සාර්ථක වෙන්නේ නැහැ” යනුවෙන් සිතනවා වෙනුවට, “මම උත්සාහ කළොත් මගේ සාර්ථක වීමේ අවස්ථාව වැඩි කරගන්න පුළුවන්” යන යථාර්ථවාදී සිතුවිල්ලක් ඇති කරගන්න. සියලු දෙනාටම නරක දින තිබේ. නමුත් එවැනි අවස්ථාවල ඍණාත්මක සිතුවිලි පාලනය කර ගැනීම මානසික ශක්තිය වැඩි කරයි. ඒ වගේම එම අපහසු දවස්වල පුළුවන් තරම් උත්සාහයෙන් වැඩ කිරීම තුළ අපගේ ජීවිතයේ සාර්ථකත්වය ළඟා වේ.

2. පැහැදිලි ඉලක්ක තබා ගන්න විශාල සිහින දැකීම වැදගත්ය.
නමුත් ඒවා කුඩා පියවරවලට බෙදා ගැනීම වඩාත් සාර්ථක ක්‍රමයකි. උදාහරණයක් ලෙස, එකවර විශාල බරක් අඩු කිරීමට උත්සාහ කරනවා වෙනුවට මුලින් කුඩා ඉලක්කයක් තබා එය සාර්ථක කරගන්න. එම කුඩා ඉලක්කයන් සපුරගෙන සාමකාමීව සමරන්න. සෑම කුඩා ජයග්‍රහණයක්ම ඔබේ හැකියාව පිළිබඳ විශ්වාසය වැඩි කරයි.
3. සාර්ථක වීමට පරිසරය සකස් කරගන්න
මානසික ශක්තිය යනු සෑම විටම පරීක්ෂාවන් සමඟ සටන් කිරීම පමණක් නොවේ. ඔබට උපකාරී වන පරිසරයක් නිර්මාණය කිරීමත් වැදගත්ය. උදෑසන ව්‍යායාම කිරීමට අවශ්‍ය නම් රාත්‍රියේම ක්‍රීඩා ඇඳුම් සූදානම් කර තබන්න. සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීමට අවශ්‍ය නම් අනවශ්‍ය ආහාර නිවසින් ඉවත් කරන්න. කුඩා වෙනස්කම් විශාල ප්‍රතිඵල ලබා දිය හැකිය.
4. දිනකට එක් අභියෝගාත්මක දෙයක් කරන්න
වර්ධනය සිදුවන්නේ පහසු දේවල් කිරීමෙන් පමණක් නොවේ.
ඔබේ සීමාවන් හඳුනාගෙන ඒවාට ටිකක් පිටතින් ඇති අභියෝග භාරගන්න.
අලුත් දෙයක් ඉගෙන ගන්න. ඔබට අපහසු අවස්ථාවක ඔබේ අදහස ප්‍රකාශ කරන්න.
ඊයේ සිටි ඔබට වඩා අද ඉන්නා ඔබව ටිකක් හොඳ පුද්ගලයෙකු බවට පත් කරගැනීමට උත්සාහ කරන්න.

5. අපහසු හැඟීම් පාලනය කිරීමට ඉගෙනගෙන අවශ්‍ය දේ නිම කරන්න
අපහසුතාවයක් දැනෙන විට බොහෝ දෙනා පහසු මාර්ග සොයති. අධික ලෙස රූපවාහිනිය නැරඹීම, කාලය නාස්ති කිරීම වැනි දේවල් තාවකාලික සැනසීමක් ලබා දුන්නත් දිගුකාලීන විසඳුම් නොවේ. ඔබට අමාරු වුවත් අවශ්‍ය දේ අවසන් කිරීමට පුරුදු වන්න. එමඟින් ඔබේ ආත්ම විශ්වාසය වැඩි වේ.
6. හැඟීම් සහ තර්කය අතර සමබරතාවයක් තබා ගන්න
ජීවිතයේ තීරණ ගැනීමේදී හැඟීම් පමණක් භාවිතා කිරීම හොඳ නැත. කෝපය, බිය හෝ අධික උද්යෝගය නිසා ගන්නා තීරණ වැරදි විය හැකිය. වැදගත් තීරණ ගැනීමට පෙර එහි වාසි සහ අවාසි සලකා බලන්න. තීරණයක් ගැනීමට අපහසු හැඟීම්බර අවස්ථාවක අභ්‍යන්තර සහ බාහිර තත්ත්වයන් සාමකාමී වන තෙක් සංයමයෙන් සිටින්න. හොඳ තීරණයක් සඳහා හැඟීම් සහ තර්කය දෙකම අවශ්‍ය වේ.
7. ඔබේ ජීවිත අරමුණ සොයා ගන්න
අරමුණක් ඇති පුද්ගලයෙකුට අභියෝග හමුවේ ඉදිරියට යාම පහසුය. ඔබට වැදගත් දේ, ඔබේ හැකියාවන් සහ ඔබ ලබාගැනීමට කැමති දේ හඳුනාගන්න. අරමුණක් තිබීම ජීවිතයට දිශාවක් සහ හැඩයක් ලබා දෙයි.

8. විනාඩි 10 නීතිය භාවිතා කරන්න
වැඩක් කිරීමට අකමැති අවස්ථාවලදී “මම විනාඩි 10ක් පමණක් කරනවා” යන නීතිය භාවිතා කරන්න. ආරම්භ කිරීම බොහෝ විට අපහසුම කොටසයි. නමුත් පළමු පියවර ගත් පසු එය ඔබ සිතූ තරම් අපහසු නොවන බව තේරුම් ගත හැකිය.
9. ඔබ ගැන ඇති වැරදි විශ්වාසයන්ට අභියෝග කරන්න
“මට මේක කරන්න බැහැ” යන සිතුවිල්ල පැමිණෙන විට ඔබටම අභියෝග කරන්න. ඔබට හැකි බව ඔබටම ඔප්පු කරන්න. කාලයත් සමඟ ඔබේ මොළය ඔබේ හැකියාවන් අවතක්සේරු කිරීම නවත්වනු ඇත.
10. මානසික ශක්තිය නිරන්තරයෙන් පුහුණු කරන්න
මානසික ශක්තිය එක රැයකින් ගොඩනැගෙන්නේ නැත. එය කාලයත් සමඟ වර්ධනය වන හැකියාවකි. දිනපතා කුඩා පුරුදු වෙනස් කරමින්, අභියෝග භාර ගනිමින් සහ ඔබේ සිතුවිලි පාලනය කරමින් ශක්තිමත් මනසක් ගොඩනගා ගත හැකිය. ශක්තිමත් මනසක් ඇති පුද්ගලයන්ට ජීවිතයේ ගැටලු නැතිව නොවේ. ඔවුන් වෙනස් වන්නේ ගැටලු හමුවේ නොවැටී නැවත නැගී සිටීමට ඇති හැකියාව නිසාය. ඔබේ මානසික ශක්තිය දිනපතා පුහුණු කළහොත්, ඔබේ ඉලක්ක වෙත ළඟා වීමටත් වඩා සාර්ථක ජීවිතයක් ගත කිරීමටත් හැකි වේ.
