ස්පා සහ ගණිකා මඩම්වල විදේශික කාන්තාවන් වැඩිවෙයි - අගමන දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්
සංචාරක වීසා මත ශ්‍රී ලංකාවට ඇතුළු වන විදේශීය කාන්තාවන් සම්බාහන මධ්‍යස්ථාන, ගණිකා නිවාස, සහ ස්පා ආයතනවල නීති විරෝධී වෘත්තීන්හි යෙදීම මෑත කාලයේ කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
උදාහරණයක් ලෙස, එම දෙපාර්තමේන්තුවේ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් පසුගිය සඳුදා (14) කොල්ලුපිටිය ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයකදී වීසා කොන්දේසි උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් විදේශීය කාන්තාවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී.
අත්අඩංගුවට ගැනුණු වයස අවුරුදු 25ත් 39ත් අතර කාන්තාවන් අතර තායි ජාතික කාන්තාවන් හය දෙනෙකු, වියට්නාම ජාතික කාන්තාවන් තිදෙනෙකු, සහ චීන ජාතික කාන්තාවක ද ඇතුළත් වේ. ඔවුන් සංචාරක වීසා මත ශ්‍රී ලංකාවට ඇතුළු වී ඇති අතර, ඉන් සිව් දෙනෙකු ඔවුන්ට අවසර ලැබුණු රැඳී සිටීමේ කාලය ඉක්මවා රැඳී සිටි බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ජ්‍යෙෂ්ඨ ආගමන නිලධාරියෙකු පවසන පරිදි, නාගරික ප්‍රදේශවල සැක සහිත ක්‍රියාකාරකම් පිළිබඳ තොරතුරු මත ආගමන දත්ත විශ්ලේෂණය කිරීමෙන් පසුව මෙම වැටලීම සිදු කර ඇත. “මෙම පුද්ගලයින් ඔවුන්ගේ වීසා කොන්දේසි පැහැදිලිව උල්ලංඝනය කර තිබෙනවා. සමහරු රැඳී සිටීමේ කාලය ඉක්මවා රැඳී සිටිනවා. තවත් සමහරු නීති විරෝධී වෘත්තීන්වල යෙදිලා තිබෙනවා. ඔවුන් ප්‍රධාන වශයෙන් ස්පා ආයතනවල සහ රටේ නීතියෙන් තහනම් කර ඇති ගණිකා මඩම්වල රැකියාවල යෙදී ඇති බවට සාක්ෂි හමුවුණා,” යැයි එම නිලධාරියෙක් උපුටා දක්වමින් ඩේලි මිරර් වාර්තා කර ඇත.
අත්අඩංගුවට ගත් කාන්තාවන් දැනට වැලිසර රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටින අතර, ඉදිරියේදී ඔවුන් පිටුවහල් කිරීමට නියමිත බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි.
වීසා කොන්දේසි උල්ලංඝනය කරමින් නීති විරෝධී ව්‍යාපාරවල යෙදෙන විදේශිකයන් හඳුනා ගැනීම සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව අඛණ්ඩව වැටලීම් සිදු කරන බවත්, ඒ අනුව බස්නාහිර පළාතේ පමණක් නොව යාපනය ඇතුළු උතුරු ප්‍රදේශවලත්, දකුණු ප්‍රදේශවලත් වැටලීම් සිදු කරන බවත් එම දෙපාර්තමේන්තුව දන්වා සිටී.
වීසා රෙගුලාසි උල්ලංඝනය කරන විදේශීය ජාතිකයන්ට මෙන්ම ඔවුන්ට ආධාර අනුබල දෙන පුද්ගලයන්ට ද බරපතල නීතිමය ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
