අඩු ආදායම්ලාභී පවුල් වලට රජයෙන් නිවාස - නිවාස 1,020ක් ජනතාවට ලබාදීමේ සුදානමක්
රජයේ දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහන යටතේ අඩු ආදායම්ලාභී පවුල් සවිබලගැන්වීම සඳහා ක්‍රියාත්මක වන "සුවපහසු නිවසක් – සවිබලැති පවුලක්" නිවාස වැඩසටහන යටතේ නිවාස 1,020ක් ඉදිකිරීමට සැලසුම් කර තිබේ.
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි. 2025–2026 ප්‍රතිපාදන යටතේ එක් නිවසක් සඳහා රුපියල් මිලියනය බැගින් වෙන් කර ඇති අතර, සමස්ත වියදම රුපියල් මිලියන 1,020කි. මේ වන විට දිවයින පුරා සියලු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආවරණය වන පරිදි නිවාස 896ක ඉදිකිරීම් ආරම්භ කර ඇති අතර, 2026 වසර අවසන් වන විට නිවාස 1,020ම ප්‍රතිලාභීන් වෙත භාරදීමට සැලසුම් කර ඇත.
එම වැඩසටහන යටතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ අඹන්පොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් දැතව ග්‍රාම නිලධාරී වසමේ ඉදිකරන ලද නිවසක් ප්‍රතිලාභියා වෙත භාරදීම පසුගියදා අඹන්පොළ ප්‍රාදේශීය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
මෙම නිවාස වැඩසටහනට අමතරව, අඩු ආදායම්ලාභී පවුල් සවිබලගැන්වීම සඳහා ජීවනෝපාය සංවර්ධන, රැකියා පුහුණු, රැකියාගත කිරීම, මනෝසමාජීය සවිබලගැන්වීම සහ මූලික අවශ්‍යතා සපුරාලීමේ වැඩසටහන් රැසක්ද සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක කරයි.