කැස්බෑ මරණවලට සැබෑම හේතුව මේකද ?(PHOTOS) (VIDEO)

EXPRESS PEARL TUTLE HAWKSBIL OLIVERIDLEY
By Sewvandhi Jun 16, 2021 12:23 PM GMT
Sewvandhi

Sewvandhi

Report

පසුගිය වසර ගණනාවක් තිස්සේ මෝසම් සුළං සමය උදා වන විට මියගොස් වෙරළට ගොඩ ගසන ලද කැස්බෑ මළ සිරුරු සංඛ්‍යාවට වඩා දෙගුණයක් ඉක්ම ගිය කැස්බෑ මරණ සංඛ්‍යාවක් MV X-Press Pearl නෞකාව ගිනි ගැනීමෙන් පසු ගත වූ දින කිහිපය තුළ වාර්තා වී ඇතැයි ශ්‍රී ලංකා කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘතියේ ව්‍යාපෘති නායක, සභාපති තුෂාන් කපුරුසිංහ මහතා පවසයි.

එබැවින් එම කැස්බෑ මරණවලට ගිනි ගත් නෞකාවේ බලපෑමක් පැහැදිලිව පෙනෙන බව ඒ මහතා ප්‍රකාශ කළේය. දින ගණනාවක් පුරා මෙරට වෙරළ තීරයන් කිහිපයකට කැස්බෑ මළ සිරුරු ගොඩ ගැසීමත්, ගිනි ගත් MV X-Press Pearl නෞකාවෙන් සාගරයට මුසුවූ විෂ රසායන ද්‍රව්‍යත් අතර සබඳතාවක් පෙන්නුම් කරන්නේ දැයි ශ්‍රී ලංකා කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘතියේ ව්‍යාපෘති නායක, සභාපති තුෂාන් කපුරුසිංහ මහතාගෙන් විමසීමේදී ඔහු ඒ බව පැවසීය.

ඒ මහතාගෙන් කළ විමසීමදී ලද තොරතුරු මත පහත කරුණු පෙළගස්වා ඇත.

මිය ගොස් මේ වන විට වෙරළට ගොඩ ගසා ඇති කැස්බෑ ප්‍රභේද

"කැස්බෑවන් විශේෂ 05ක් එනවා බිත්තර දාන්න. මැරිලා ගොඩගහලා තියෙන්නේ වැඩියෙන් ම බටු කැස්බෑවා (Olive Ridley turtle), මඩ/කොළ කැස්බෑවා (Green turtle) සහ පොතු කැස්බෑවා (Hawksbil turtle)යන කැස්බෑවන්."

කැස්බෑවන් මිය යාම සහ කැස්බෑවන්ගේ ආහාර ගැනීමේ රටාව අතර සබඳතාව

"බටු කැස්බෑවා (Olive Ridley turtle) නොගැඹුරු මුහුදේ සිටින කුඩා කැස්බෑ විශේෂයක්. පියා මැස්සන්, පොකිරිස්සන්, ඉස්සන් වැනි කුඩා සතුන් ඔවුන්ගේ ආහාර වෙනවා.

ගල්/මඩ/කොළ කැස්බෑවා (Green turtle) ප්‍රමාණයෙන් විශාලයි. මුළුමනින් ම ශාක භක්ෂක සත්වයෙක්. මුහුදුවල ඇති ඇල්ගී, තෘණ වැනි නොගැඹුරු මුහුදේ සෑදෙන පැළෑටි ආහාරයට ගන්නවා.

පොතු කැස්බෑවා (Hawksbil turtle) වැඩි වශයෙන් ආහාරයට ගන්නේ මෘදු (soft) කොරල් වැනි දේ"

මෙවැනි ආහාර මත යැපෙන මෙම කැස්බෑවන් වර්ග ත්‍රිත්වය ම වෙසෙන්නේ නොගැඹුරු මුහුදේ බව ඒ මහතා සඳහන් කළේය.

කැස්බෑ මරණවලට සැබෑම හේතුව මේකද ?(PHOTOS) (VIDEO) | Turtle Death Causes

නොගැඹුරු මුහුදෙහි සිදුවූ නෞකා ගිනි ගැනීම සහ කැස්බෑවන් මිය යාම අතර සබඳතාව

නොගැඹුරු මුහුදෙහි සිදුවූ නෞකා ගිනි ගැනීම හේතුවෙන් නයිට්‍රික් ඇසිඩ් සහ ප්ලාස්ටික් පැලට්ස් මෙන් ම විශාල ප්‍රමාණයක් තිබී ඇති පොලිතින් බෑග් එක්වීම සිදුව ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

නොගැඹුරු මුහුදේ වෙසෙන මෙම කැස්බෑවන් තම ආහාරයට ගන්නා ස්වාභාවික ශාක සහ සත්ව කොටස් යැයි අනුමාන කර නෞකාවෙන් බැහැර වූ අපද්‍රව්‍ය ද ආහාරයට ගැනීමට ඇති ඉඩකඩ වැඩි බව ඒ මහතා පැවසීය. මිය ගිය සත්වයින්ගේ බාහිර ලක්ෂණ සහ පශ්චාත් මරණ පරීක්ෂණවලින් ඒ බව හෙළි වන ආකාරයත් ඒ මහතා පෙන්වා දුන්නේ ය.

"නයිට්‍රික් ඇසිඩ් ගොඩක් මුහුදට මුහු වුණා. ප්ලාස්ටික් පැලට්ස් තිබිලා තියෙනවා. තව පොලිතින් බෑග් විශාල ප්‍රමාණයක්. ජෙලි ෆිෂ් කියලා හිතලා නිකනුත් පොලිතින් කනවා කැස්බෑවො. ආහාර කියලා ගන්නවා එයාලා.අපිට පේනවා මාළුවන්ගේ කරමල්වල, ආහාර මාර්ගයේ ප්ලාස්ටික් පැලට්ස් තිබිලා වාර්තා වෙනවා.මැරිච්ච ඩොල්ෆින්ලාගේ ඇස්වලින් ලේ ඇවිත් තියෙනවා. අධික විෂ රසායනයක් එක් වුණා ම සෛල පුපුරනවා. මුහුදේ ගමන් කරනකොට හදිසි විෂ සංයෝගයකට මුසු වෙනවා. කපපු අයගේ ආහාර මාර්ගය බැලුවාම ආහාර මාර්ගය හිස්. දින ගණනාවක් ආහාර නැතිව ඉඳලා තියෙනවා විෂ වැදිලා."

කැස්බෑ මරණවලට සැබෑම හේතුව මේකද ?(PHOTOS) (VIDEO) | Turtle Death Causes

මුහුදට එක්වූ විෂ ද්‍රව්‍ය කැස්බෑවන්ගේ සිරුරු තුළට එකතු විය හැකි ආකාරය

"පොතු කැස්බෑවො ගත්තොත් හුරුල්ලො, සාලයෝ වගේ පොඩි මාළු ආහාරයට ගන්නවා. පොඩි සත්තු වතුරේ ඉබේ පාවෙන ද්‍රව්‍ය තමා ආහාරයට ගන්නේ. ඒ විෂ ද්‍රව්‍ය කෑව ම උන්ගේ ඇඟට යනවා. ඒ මාළුන්ව කැස්බෑවො කනවා. ඒ මාළුවා කැස්බෑවා කෑවම අර මාළුවට වඩා සංඛ්‍යාවක් විෂ ඇබ්සෝබ් වෙනවා."

මියගොස් ඇති කැස්බෑවන් නිරීක්ෂණය කිරීමේදී එම කැස්බෑවන්ගේ කටුව පවා පිළිස්සී ඇති ආකාරයක් දැක ගත හැකි වූ බවත් එවැනි තත්ත්වයක් ඇති වන්නේ දරුණු සාන්ද්‍රණයන්ට මුහු වීම හේතුවෙන් බවත් ඒ මහතා පෙන්වා දුන්නේය. මුහුදු ජලය මත පාව එන නයිට්‍රික් අම්ල ආදිය දියවැල් සමග මුසු වී බොහෝ ප්‍රදේශවලට ගසාගෙන යාමක් සිදුවන බවත් එවැනි ද්‍රව්‍ය මත්ස්‍යයන් වැනි කුඩා සතුන්ගේ ආහාර බවට පත්වන ආකාරයත් ඒ මහතා පෙන්වා දුන්නේ ය.

"සත්තු ආහාර ගනිද්දි ගිලෙනවා ඒවා වතුරත් එක්ක. ඒ බලපෑම තියෙනවා. ප්ලාස්ටික් ඒවා පොඩි නිසා මාළුන්ට ගිලින්න පුළුවන්. මේ පෙලට්ස් එකපාරට ගොඩක් මුහුදට ආවම මාළුන්ගෙන් කොටසක් ඒවා ආහාරයට ගන්නවා." යම් විෂ රසායන ප්‍රමාණයක් මුහුදු ජලය හා එක් වීමෙන් රසායනික ප්‍රතික්‍රියා ඇතිවන බවත් ඒ අදාළ ප්‍රදේශය අවට ඇති ඔක්සිජන් ප්‍රමාණය ඇද ගැනීමක් එවිට සිදුවන බවත් ඔහු පෙන්වා දුන්නේය.

එවැනි ප්‍රතික්‍රියා ඇති වී එමගින් ඔක්සිජන් හිඟතාවක් ඇතිවීම නිසා ද මුහුදු සත්වයින් විශාල සංඛ්‍යාවක් මිය යා හැකි බව ඒ මහතා පෙන්වා දුන්නේ ය. "පොඩි සත්තුන්ට ඒක ගොඩක් බලපාන්නේ, විෂ සත්තුන්ගේ පටකවලට උරාගන්නවා. ඒවා තවත් සත්තු උරා ගන්නවා. ඒවා ඒ අයට toxic (විෂ සහිත) වෙනවා."

කැස්බෑ මරණවලට සැබෑම හේතුව මේකද ?(PHOTOS) (VIDEO) | Turtle Death Causes

නෞකාව හේතුවෙන් තවදුරටත් සිදු විය හැකි හානි

"කන්ටේනර්වල තියෙන තෙල් මුහුදට මුසුවුණොත් ඒකෙන් ඇතිවෙන බලපෑම සිද්ධ වෙන්නේ ඉදිරියේදී." එබැවින් එම නෞකාවේ මුහුදුබත් වී ඇති කොටස් ගොඩ බිමට ගෙනැවිත් බැහැර කිරීමේ නිසි ක්‍රමවේදයක අවශ්‍යතාවය ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.

කැස්බෑ මරණවලට බලපාන සාමාන්‍ය හේතු සහ මේ අවස්ථාවේ සිදුව ඇති කැස්බෑ මරණ අතර වෙනස

නිරිත දිග මෝසම් සුළං සහ වර්ෂා කාලය ආරම්භ වන විට මුහුදෙහි ඇති වන කැළඹිලි සහ රළුවීම් හේතුවෙන් කැස්බෑ මරණ යම් ප්‍රමාණයක් වාර්ෂිකව වාර්තාවීමක් සිදු වන බව ඒ මහතා පැවසීය.

ඒ හැර ධීවරයින්ගේ දැල්වල පැටලීමෙන් ද වාර්ෂිකව යම් කැස්බෑ මරණ සංඛ්‍යාවක් වාර්තා වන බව ඔහු පැවසීය. මුහුදෙහි ඇති වන කැළඹිලි සහ රළුවීම් වසරේ නිශ්චිත කාලයකදී සිදු වුවත් මේ අවස්ථාවේදී කැස්බෑවන් පමණක් නොව නිරෝගී තරුණ ඩොල්ෆින් මත්ස්‍යයින් පවා මිය යාම හේතුවෙන් මෙය සාමාන්‍ය තත්ත්වයක් නොවන බව ඒ මහතා අවධාරණය කළේය.

"කැස්බෑවො විතරක් නෙවේ. ඩොල්ෆින්ලත් එතන ඉන්නවා. දැන් පැහැදිලව ම කියන්න පුළුවන් මෙතන නැවත් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා. මෙදා පාර සාමාන්‍ය ප්‍රමාණයටත් වඩා දෙගුණයක් විතර ඉහළ ගිහිල්ලා තියෙනවා. පහුගිය අවුරුදු ගාණකට ම මේ විදියට මැරිලා ගොඩ ගහපු කැස්බෑ පුමාණයට වඩා දෙගුණයකින් ඉක්ම ගිහින් තියෙනවා. ඒ අතරෙත් අනෙක් කරුණු, බාහිර බලපෑම් නිසා මැරිච්චත් ඇති. දැන් නම් පැහැදිලිව ම කියන්න පුළුවන් නැවේ බලපෑමක් තියෙනවා කියලා," යනුවෙන් ඔහු පැහැදිලි කළේය.


මේ සම්බන්ධයෙන් පරිසරවේදී, නීතීඥ, ආචාර්ය ජගත් ගුණවර්ධන මහතාගෙන් ද විමසීමක් කළේය. 

මියගිය කැස්බෑවන් අතරින් මෙරට දැකිය හැකි කැස්බෑ ප්‍රභේද

- බටු කැස්බෑවා (Olive Ridley turtle)- අවදානම් විශේෂයකි.

- මඩ/ කොළ කැස්බෑවා (Green turtle)- අවදානම් විශේෂයකි

- පොතු කැස්බෑවා (Hawksbill turtle)- දැඩි ලෙස තර්ජනයට ලක්වූ විශේෂයකි.

- ඔලුගෙඩි කැස්බෑවා (Loggerhead turtle)- අවදානම් විශේෂයකි 

යන කැස්බෑවන් විශේෂ 4ක් ම මියගොස් ඇති කැස්බෑවන් අතර දැකගත හැකිව ඇති බවත් හමුවී නැත්තේ දාර කැස්බෑවා (Leatherback Turtle) පමණක් බවත් ඒ මහතා පවසීය.  

කැස්බෑ මරණවලට සැබෑම හේතුව මේකද ?(PHOTOS) (VIDEO) | Turtle Death Causes

මෙම කැස්බෑ මරණවල දැකිය හැකි සුවිශේෂීත්වය

"මෙච්චර සුළු කාලයක් තුළ බස්නාහිර, දකුණ, වයඹ මුහුදු ප්‍රදේශවලට මෙතරම් සුළු කාලයක් තුළ මෙවැනි කැස්බෑ මරණ සංඛ්‍යාවක් හමුවුණු මගේ ජීවිතේ පළවෙනි සහ එක ම වතාව මේක. මේ මැරිච්ච සියලු ම සංඛ්‍යාව ද කියලා කියන්න බෑ. අපේ වෙරළ තීරයෙදී මැරුණු ගාන විතරයි."

ගිනිගත් නෞකාවෙන් පිටවූ විෂ ද්‍රව්‍ය හා කැස්බෑ මරණ අතර සබඳතාව

"මෙතන පැහැදිලි රටාවක් පේනවා. අසාමාන්‍ය මරණ මේ විදියට වාර්තා වෙන්නේ නැවේ දෙවැනි ගින්නෙන් පස්සේ. බැලූ බැල්මට සහසම්බන්ධයක් පෙනුණත් අපිට ඔව් කියන්නත් බෑ නෑ කියන්නත් බෑ පැහැදිලි පරීක්ෂණ කරන්නේ නැතිව.

" කැස්බෑවා යන සත්වයා සහ ඔහුගේ ජීව විද්‍යාත්මක පසුබිම පිළිබඳව ශ්‍රී ලංකා කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘතියේ හිටපු ලේකම්, Green Planet සංරක්ෂණ සංවිධානයේ සභාපති තරංග හේරත් මහතාගෙන් ද විමසීමක් කළේය.

කෑස්බෑවෙක් යනු

"කැස්බෑවා කියන්නේ උරගයෙක්. සිව්පා උරග කියන කොටසට වැටෙන්නේ. ලෝකේ කැස්බෑ විශේෂ 07ක් ඉන්නවා. ඒකෙන් කැස්බෑ විශේෂ 05 ක් ම ලංකාවේ වාර්තා වෙනවා. පෙනහලු ඇති සතෙක්. මුහුදේ හිටියට ශ්වසනය සඳහා ජලය මතුපිටට පැමිණීම අවශ්‍යයි."

කැස්බෑවන්ගේ ජීවන චක්‍රය

කැස්බෑ මරණවලට සැබෑම හේතුව මේකද ?(PHOTOS) (VIDEO) | Turtle Death Causes

"ඒ කැස්බෑ විශේෂ 5න් ගෑණු සතා විතරයි බිත්තර දාන්න වෙරළට එන්නේ. බිත්තර දැමීමෙන් පසු ඉතිරි ජීවිත කාලෙ ම සාගරයේ ගත කරනවා."

කැස්බෑවන් බිත්තර දමන කාලය

කැස්බෑවන් බිත්තර දමන කාලය එක් එක් කැස්බෑ විශේෂ අනුව වෙනස් විය හැකි වුවත් අවුරුද්දේ මුල සහ අග (Peak Season) වැඩි වශයෙන් බිත්තර දැමීම සිදු වන බව ඒ මහතා පැවසීය.සාමාන්‍යයෙන් ඔක්තෝබර් මස සිට මැයි මස දක්වා කාලය තුළ වැඩි වශයෙන් කැස්බෑ බිත්තර දැමීම දැකිය හැකි බවද ඔහු පැවසීය.

බිත්තර දමන ආකාරය


ආලෝකය අඩු වූ විට රාත්‍රී කාලයේදී වෙරළට පැමිණෙන කැස්බෑවියන් උන්ගේ අවල්පත් භාවිතයෙන් වෙරළෙහි විශාල වළක් හාරා පසුපස අවල්පත් ආධාරයෙන් ඒ වල තුළ තවත් කුඩා වළක් සාදයි. එම වළෙහි වරකට ඇතැම්විට කැස්බෑවියක් බිත්තර 100ට වැඩි ප්‍රමාණයක් වුව ද දැමිය හැකිය. වෙරළෙහි බිත්තර දමා කැස්බෑවියන් ආපසු මුහුදට යන නමුත් බිත්තර රැකීමක් සිදු කිරීමට යළි කිසිදු අයුරකින් වෙරළට නොපැමිණෙන බව ඒ මහතා පැවසීය.

උදාහරණයක් වශයෙන් ඒ මහතා පෙන්වා දෙන්නේ, වෙරළක මේ අයුරින් කැස්බෑවියන් බිත්තර 1000ක පමණ ප්‍රමාණයක් දැමුවහොත් ඉන් පරිණත කැස්බෑවෙකු වන තෙක් ජීවත්වීමේ වාසනාව හිමිකරගන්නේ එක් කැස්බෑවෙකු විය හැකි බවය. කැස්බෑවන් කෙතරම් තර්ජනයට ලක් වූ සත්ව කොට්ඨාසයක් ද යන බව එමගින් ඔහු පෙන්වා දුන්නේය.

කැස්බෑ මරණවලට සැබෑම හේතුව මේකද ?(PHOTOS) (VIDEO) | Turtle Death Causes

බිත්තර දැමීමට ලංකාවට එන කැස්බෑ විශේෂ

"එම කැස්බෑ විශේෂ 5 ම බිත්තර දාන්න ලංකා වෙරළට එනවා. එහෙම බිත්තර දාන්න එන සුලභ ම කැස්බෑවා තමයි මඩ/කොළ කැස්බෑවා (Green turtle). ලංකාව ආශ්‍රිත මුහුදු ප්‍රදේශයේ වැඩියෙන් ම ඉන්න කෙනා බටු කැස්බෑවා(Olive Ridley turtle). මුරංගා මලයා කියලත් කියනවා.කැස්බෑ බිත්තර රැකෙන්නේ වැල්ලෙහි තියෙන උෂ්ණත්වයෙන්. කැස්බෑවන්ගේ ලිංග නිර්ණය වෙන්නේ බිත්තර වල උෂ්ණත්වය අනුව"

පසුගිය දිනවල මියගොස් වෙරළට ගොඩ ගසා තිබූ කැස්බෑ විශේෂ

"බටු කැස්බෑවා (Olive Ridley turtle) තමා වැඩි වශයෙන් පහුගිය දවස්වල වෙරළට ගොඩගහලා තිබුණෙත්.

එයා තමා ප්‍රමාණයෙන් පොඩි ම කෙනා වෙන්නෙත්. පොතු කැස්බෑවා (Hawksbil turtle)කියන්නේ රතු දත්ත වාර්තා පොතට අනුව දැඩි ලෙස තර්ජනයට ලක්වුණු විශේෂයක්. බොහොම දුර්ලභ කෙනෙක්. එයත් මේ දවස්වල මැරිලා ඇවිත් ඒක හරිම අවාසනාවක්."

කැස්බෑවන් මිය යා හැකි සාමාන්‍ය හේතු -

ධීවරයින්ගේ ධීවර දැල්වල පැටලීම විශාල වශයෙන් කැස්බෑවන්ට තර්ජනයක් වී ඇති බව - බෝට්ටු වල අවරපෙත්ත (Propeller)වැදී කැස්බෑවන්ගේ පිට කබලට (කටුවට) හානි වී මිය යන බව යන කරුණු බව ඒ මහතා පෙන්වා දුන්නේය.

කැස්බෑ මරණවලට සැබෑම හේතුව මේකද ?(PHOTOS) (VIDEO) | Turtle Death Causes

කැස්බෑවන්ට තර්ජන එල්ලවෙන ආකාර

- වෙරළ ආශ්‍රිත ඉදිකිරීම්

- කැස්බෑ වාසස්ථාන විනාශ වීම

- නීති විරෝධී ලෙස කැස්බෑ බිත්තර එකතු කිරීම සහ කැස්බෑවන් මස් පිණිස මරා දැමීම

- වෙරළෙහි පවතින දැඩි ආලෝකය

- බල්ලන් වැනි සතුන් කැස්බෑ පැටවුන් ආහාරයට ගැනීම

- මුහුදේදී විලෝපිකයන්ට හසුවීම

කැස්බෑවන්ගේ විශේෂත්වය

-කැස්බෑවන් ලොව පුරා මුහුදු මාර්ගයෙන් කිලෝමීටර් දහස් ගණන් ගමන් කරන ජීවි විශේෂයක් වීම.

- ආහාර දාම ඔස්සේ සමතුලිත බව ඇති වීම

- ධීවර සම්පතෙහි ගහණය ප්‍රශස්ත මට්ටමින් පවත්වා ගැනීමට හේතු වීම

- මුහුදු පරිසර පද්ධති බිඳ නොවැටී පවත්වාගෙන යාමට

- කොළ කැස්බෑවා මුහුදු ශාක ආහාරයට ගැනීම හේතුවෙන් මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව මුහුදු ශාක අධිවර්ධනය වීම තුලනය කිරීම

මෙම කරුණු විමසා බැලීමේදී නිවර්තන දේශගුණයක ඇති සාගරයක් හිමි මෙරටට කැස්බෑවන් වටිනා සත්ව විශේෂයකි. මුහුදේ බොහෝ දුර සංක්‍රමණය කරන සත්ව කාණ්ඩයක් වන මොවුන් යම් අයුරකින් විනාශයට පත්වුවහොත් එම විනාශයෙන් අහිමිවන්නේ අප රටට පමණක් නොව මුළු ලෝකයට ම අයිති සම්පතක් බව ඒ මහතා අවධාරණය කළේය. කැස්බෑවන්, ඩොප්ෆින් මත්ස්‍යයන් පමණක් නොව ඊයේ (ජූනි 15) දින වන විට තල්මසෙකු ද මිය ගොස් වෙරළට ගොඩ ගසා තිබිණි.

උපුටා ගැනීම -mawbima.lk


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now