මාර්තු 30වනදා සිට පාසල්වල විශේෂ වෙනසක් - අධ්‍යාපන ඇමතිගෙන් ප්‍රකාශයක්..!

Ministry of Education A D Susil Premajayantha Sri Lanka
By Sewvandhi Mar 20, 2023 09:24 AM GMT
Sewvandhi

Sewvandhi

Report
120 Shares

 අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සදහන් කරන්නේ, මාර්තු 30 වනදා සිට 01 ශ්‍රේණියේ සෑම පන්තියකම ඉංග්‍රීසි භාෂාව කථනයෙන් භාවිත කිරීම දීපව්‍යප්ත මට්ටමින් ආරම්භ කරන බවයි. ඉදිරියේ දී 6-9 හා 10-13 දක්වා පාසල් විෂය නිර්දේශ සියල්ල ජාත්‍යන්තර මට්ටමට ගෙනඒමට අවශ්‍ය යාවත්කලීන කිරීම් සිදුකරන බවත් ලබන මාසයේදී එහි නියමු ව්‍යාපෘතියක් ආරම්භ කරන බවත් එතුමා සදහන් කළා.

එමෙන් ම තොරතුරු තාක්ෂණය සමග විෂයානුබද්ධව කෘත්‍රීම බුද්ධි විෂය ඉගැන්වීමටද සැලසුම්කර ඇති බවත් ඊට අවශ්‍ය පාඨමාලා සංවර්ධනය හා සම්පත් ලබාගැනීම මේ වනවිට සිදුකෙරෙමින් පවතින බව අමාත්‍යවරයා පැවසීය.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ 2030 වන විට අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළ ගෝලීය තිරසර සංවර්ධන ඉලක්ක සපුරාගැනීමේ අභියෝගය ජයගැනීම සඳහා ක්‍රියා කරමින් සිටින බවය.

විද්‍යාපීඨ ගුරුවරුන් 8,000ක් සහ උපාධිධාරී ගුරුවරුන් 26,000ක් ලබන මාසයේ සිට අධ්‍යාපන පද්ධතියට එක් කරමින් පාසල්වල මානව සම්පත දියුණු කිරීමට පියවර ගන්නා බව ද පැවසූ ඒ මහතා කෙටිකලක් තුළ සිදුකෙරෙන මේ කටයුතු අතරතුර නිසි පරිදි ඉගෙනීමේ කටයුතු කරගෙනයාම සඳහා දරුවන් උනන්දු කරවීම දෙමාපිය යුතුකම බවද පැවසී ය.

අමාත්‍යවරයා මේ තොරතුරු සඳහන් කළේ අධ්‍යාපන අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා භෞතික විද්‍යා ආයතනය එක්ව වාර්ෂිකව සංවිධානය කරනු ලබන ජාතික මට්ටමේ ඔලිම්පියාඩ් තරගාවලියේ ජයග්‍රාහකයන් සඳහා පදක්කම් සහ සහතික පත්‍ර ප්‍රදානයකිරීම වෙනුවෙන් කොළඹ විශ්වවිද්‍යාලයීය නව කලාගාරයේදී පැවති වැඩසටහනකට එක්වෙමිනි.


  සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now