ජනතා හඬට කන් නොදුනහොත් බරපතළ ප්‍රතිඵල අත්විය හැකියි ...

srilanka politics presanna ranatunga
By Nimal Jun 15, 2021 03:02 PM GMT
Nimal

Nimal

Report

මධ්‍යම අධිවේගී මාර්ගයේ ගම්පහ ඉදිකිරීම් වල දී ජනතා හඬට කන් නොදුනහොත් එය බරපතළ ප්‍රතිඵල අත්විය හැකි තත්ත්වයක් බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අද (15)වැරැල්ලවත්ත ප්‍රදේශයේ දී පැවැති මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ අමාත්‍යවරයා , ජනතාව ආණ්ඩු වෙනස් කරන්නේ පසුගිය ආණ්ඩු වලින් ගනු ලැබූ වැරදි තීරණ නිවැරදි කිරීමට බැවින් වර්තමාන රජය එම වගකීම නිසියාකාරව ඉටු කළ යුතු බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා,පසුගිය දවස් වල පැවති අධික වර්ෂාවත් එක්ක ඇති වූ ගංවතුර තත්ත්වයක් සමග අධිවේගී මාර්ගය නිසා පීඩාවට පත් වූ ස්ථාන කිහිපයක් තිබෙනවා. එම ස්ථාන නැවත අධ්‍යයනයකට ලක් කරලා වැඩ ආරම්භ කරන්න යෝජනා කරලා කටයුතු කළා. එම ස්ථානවල පමණක් වැඩ කටයුතු දැනට නැවතිලා තිබෙනවා. යම් හෙයකින් මේ සම්බන්ධව කටයුතු කරන අය ජනතාවගේ හඬට ඇහුම්කන් නොදී කටයුතු කළොත් ඔය කොන්ත්‍රාත්කරුවන්ට ගම්වලට එන්න ජනතාව ඉඩ දෙන එකක් නැහැ.

ඒ නිසා මෙය සාකච්ඡා මාර්ගයෙන් කාටවත් අසාධාරණයක් නොවන ආකාරයෙන් ඒ වගේම ජනතාවට පීඩාවක් නොවන ආකාරයෙන් සිදු කිරීම වැදගත්. මේ අධිවේගී මාර්ග ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම අවසන් වූ විට එමගින් ජනතාවට පීඩාවට පත්වීමේ අවස්ථාව ඉතාම අවමයි. ජනතාව කවදාවත් කිසිම පීඩාවකට ලක් වෙන්නේ නැහැ කියලා මම කියන්නේ නැහැ. මෙම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් තුලින් ජනතාව පීඩාවට පත් නොවන ආකාරයට කටයුතු කිරීමට ඉදිරියේ දී සියලු ක්‍රියාමාර්ග ගන්නවා.

ඉදිකිරීම් කාල සීමාව තුළ සේවා පහසුකම් සඳහා සකස් කර තිබෙන මාර්ග සහ පස් ගොඩ ගැසීම් ගොඩක් දුරට පසුගිය ගංවතුර තත්වයන් තත්වයන්ට බලපෑමක් එල්ල කළා. ජනතාවට බලපෑමක් එල්ල නොවන ආකාරයට මෙම ව්‍යාපෘතිය අවසන් කිරීමට කටයුතු කරනවා. නමුත් යම් යම් ස්ථානවල ඇති වූ ගැටලු සම්බන්ධයෙන් නැවත අධ්‍යයනයක් කළ යුතුම වෙනවා.එවැනි අධ්‍යයනයක් සිදු කරලා ඊට අදාළ තීන්දු අරගෙන කටයුතු කළොත් මෙය සාර්ථක ව්‍යාපෘතියක් බවට පත් කරගැනීමට අපට හැකියාව ලැබෙනවා.

2015 වසරට පෙර මෙම මාර්ගය කණු උඩ ඉදිකිරීමට සැලසුම් සකස් කොට තිබුණා . නමුත් පසුගිය රජය එය වෙනස් කරලා පස්වලින් ගොඩ කරපු මාර්ගයක් ඉදිකිරීමට තීරණය කරලා තිබුණා. එහි ප්‍රතිඵල තමයි අද අපිට භුක්ති විදින්න සිද්ද වෙලා තියෙන්නේ. නමුත් ජනතාව ආණ්ඩු වෙනස් කරන්නේ වැරදි දේවල් වැරදි තීරණ වෙනස් කරන්න. වර්තමාන රජයේ වගකීම වන්නේ එම වැරදි නිවැරදි කරලා කටයුතු කරගෙන යාමයි.