කෝටි හතේ කොල්ලකරුවන් ගැන එළියට ආ අදහාගත නොහැකි තොරතුරු..
පොලීසිය අනාවරණය කරගෙන ඇත්තේ, මිනුවන්ගොඩ ප්‍රදේශයේදී රුපියල් කෝටි හතහමාරක මුදලක් කොල්ලකෑමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා ඉන්දියාවට පළායෑමට උත්සාහ දරා ඇති බවටයි.එමෙන්ම ඔවුන්ට ආධාර අනුබල දුන් තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ආරක්ෂිතව මුදල් ප්‍රවාහනය කරන පෞද්ගලික ආයතනයක රියදුරෙක් මිනුවන්ගොඩ පෞද්ගලික බැංකුවක් වෙත මුදල් රැගෙන යන අතරතුර රුපියල් කෝටි හතහමාරක මුදලක් රැගෙන පළාගොස් තිබුණේ ඉකුත් නොවැම්බර් 18 වැනිදාය.
ඒ පිළිබඳව වැදගත් තොරතුරු රැසක් ගම්පහ කොට්ඨාස මර්දන විමර්ශන ඒකකය මේ වනවිට අනාවරණය කරගෙන තිබේ.
එහි ප්‍රධාන සැකකරු වන 37 හැවිරිදි තුෂාර ඉන්දික සොයිසා කටානේ පදිංචිකරුවකුවන අතර අනෙක් සැකකරු 40 හැවිරිදි උඩුගම්පල පදිංචි සමන් රණසිංහ නම් අයෙකි.
සැකකරුවන් දෙදෙනා කොල්ලය සිදුකර මුදල් රැගෙන යන අතරතුරදී ඉන් රුපියල් කෝටි තුනහමාරක පමණ මුදලක් තවත් අයෙකුට ලබාදී තිබූ අතර ඔහුව පොලීසිය මගින් අත්අඩංගුවට ගත්තේ අදාළ මුදල්ද සමගිනි.
පොලීසිය අනාවරණය කරගෙන ඇත්තේ, ඔවුන් දෙදෙනා කොල්ලය සිදුකර කුරුණෑගල සම්භාහන මධ්‍යස්ථානයකට ගොස් ඇති බවයි.
සීසීටීවී දර්ශන රැසක් පරීක්ෂා කිරීමෙන් එම තොරතුරු සොයාගෙන ඇති අතර පොලීසිය අදාළ ස්ථානයට ගොස් සිදුකළ විමර්ශනයේදී අනාවරණ වී ඇත්තේ, ඔවුන් දෙදෙනා එහි සිට කුලී පදනම මත ලබාගත් මෝටර් රථයකින් නාගදීපය දක්වා ගොස් ඇති බවය.
ඒ අතරතුර කුරුණෑගල, ගනේවත්ත ප්‍රදේශයේදී සැකකරුවන් දෙදෙනා මහමග රැඳී සිටි අයෙකුගෙන් ඇමතුමක් ලබාගැනීමට බව පවසා ජංගම දුරකතනයක් ඉල්ලාගෙන පසුව එය රුපියල් දස දහසක මුදලකට මිලදීගෙන තිබේ.ඊට අදාළ සීසීටීවී දර්ශන පෙළක් ද මාධ්‍ය වෙත නිකුත්කර තිබුණි.
පසුව සැකකරුවන් දෙදෙනා නාගදීපය විහාරස්ථානයට ගොස් පිරිකර 8ක් පූජා කර නැවත යාපනය නගරය වෙත පැමිණ ඇති අතර එහිදී ඔවුන් දෙදෙනා නාවික හමුදා සෙබලු කණ්ඩායමක් සමග ද කතා බහකර තිබුණද ඔවුන්ව එම අවස්ථාවේදී හඳුනාගැනීමට හැකිවී නොමැත.
පසුව රුපියල් එක් ලක්ෂ විසි දහසක මුදලක් අදාළ කුලී රථයට සැකකරුවන් දෙදෙනා විසින් ලබාදී තිබේ. පසුව පොලීසිය අදාළ මෝටර් රථයේ රියදුරුට දුරකතන ඇමතුමක් ගෙන සැකකරුවන් දෙදෙනා සම්බන්ධයෙන් විමසා ඇති අතර එහිදී ඔහු පරස්පර පිළිතුරු ලබාදී තිබේ.
සැකකරුවන් දෙදෙනාව පොලීසිය සොයන බවට දැනුම්දීමෙන් පසුව ඔවුන් පළාගිය බවයි, පසුව අදාළ රියදුරු හා ඔහුගේ සහායකයාව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී අනාවරණයවී ඇත.
එලෙස පළායන සැකකරුවන් දෙදෙනාගේ සීසීටීවී දර්ශන පෙළක් ද මාධ්‍ය වෙත නිකුත්කර තිබුණි. පොලීසිය සැක පලකරන්නේ සැකකරුවන් දෙදෙනා යාපනය හරහා ඉන්දියාවට පාලයෑමට උත්සාහ දරා ඇති බවය. ඒ අනුව එය වැළැක්වීම සඳහා සියලු කටයුතු යොදා ඇති බවද පොලීසිය සඳහන් කළේය.
..............................................................................
You May Like This Video 👇👇👇