පාසල්වල පළමු වසරේ සිටිය යුතු ළමයින් සංඛ්‍යාව වැඩිකිරීමට එරෙහිව පෙත්සමක්

By Sewvandhi Jul 26, 2021 09:22 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග උල්ලංඝනය කරමින් රජයේ පාසල්වල පළමු වසර සඳහා සිටියයුතු ළමයින් සංඛ්‍යාව 40 දක්වා වැඩිකිරීමට අධ්‍යාපන බලධාරීන් ගෙන තිබෙන තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් වී තිබේ.

ලංකා ගුරු සංගමය සහ එහි ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් විසින් එම පෙත්සම ඉදිරිපත් කළ බව අප වාර්තාකරු පැවසීය. එහි වගඋත්තරකරුවන් ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා, ජාතික පාසල් අධ්‍යක්ෂවරයා සහ අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී. එල්. පීරිස් නම්කර තිබුණි.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ 2011 වසරේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රකාශයට පත් කළ නියෝගයකට අනුව ජාතික පාසල්වල සියලු පන්ති සඳහා සිටියයුතු උපරිම ළමුන් සංඛ්‍යාව 35කට සීමාකර තිබූ බවය.

එහෙත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් ඉකුත් මැයි මස 28 වනදා නිකුත්කළ චක්‍රලේඛයක් මගින් පළමු වසර සඳහා රජයේ පාසල්වල පන්තියක සිටියයුතු ළමුන් සංඛ්‍යාව 40 දක්වා වැඩි කිරීමට තීරණය කර ඇතැයි චෝදනා කරන පෙත්සම්කරු එය ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට මෙන්ම අධ්‍යාපන සේවා පනත් විධිවිධානවලට පටහැනි බවද පෙන්වා දී තිබේ.

ඒ අනුව පළමු වසර පන්තියක සිටියයුතු ළමුන් සංඛ්‍යාව 40 දක්වා වැඩිකිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් නිකුත්කර ඇති චක්‍රලේඛය බලරහිත කිරීමේ ආඥාවක් නිකුත්කරන ලෙස එම පෙත්සමෙන් ඉල්ලා සිටී.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now