එක දිගටම මාරක අනතුරු - 5ක් මරුට
මේ වනවිට ගතවූ පැය 24 තුළ ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු කිහිපයකින් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් පස්දෙනෙකු මියගොස් ඇත. ඒ අනුව ඊයේ (11) දින තඹුත්තේගම, කහවත්ත, සිරිපුර, කොකාවැව සහ මාතර යන පොලිස් වසම්වලදී මෙම අනතුරු සිදුව ඇත.
තඹුත්තේගම 27 හන්දිය මාර්ගයේ ලුණුවැව ප්‍රදේශයේදී යතුරුපැදියක් ඊට ඉදිරියෙන් එම දිශාවට ධාවනය වූ ලොරි රථයකට ඉස්සර කිරිමේදී ප්‍රථිවිරුද්ධ දෙසින් පැමිණි පුද්ගලික බස් රථයක ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් යතුරුපැදිකරු හා පසුපැදිකරු තුවාල ලබා ප්‍රතිකාර සඳහා තඹුත්තේගම රෝහලට ඇතුළත් කිරීමේදී පසුපැදිකරු මියගොස් තිබේ.
එම අනතුරින් මියගොස් ඇත්තේ, ලපනාව ජනපදය, නොච්චියාගම ප්‍රදේශයේ පදිංචිව සිටි 26 හැවිරිදි තරුණයෙකි. එමෙන්ම මාකදුර සිට මාදම්පේ හන්දිය හරහා කහවත්ත දෙසට ධාවනය වූ පුද්ගලික බස් රථයක ගමන්කළ මගී කාන්තාවක් පැපොල්ඇල්ල ප්‍රදේශයේදී බස් රථයෙන් බැසීමට යාමේදී ඇදවැටී එම බස් රථයටම යටවී එම ස්ථානයේම මියගොස් ඇත.
එලෙස මියගොස් ඇත්තේ, මාකදුර සබර, කහවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි 68 හැවිදිරි කාන්තාවකි. මේ අතර සිරිපුර - නුවරගල මාර්ගයේ පලුදෙනිය ප්‍රදේශයේදී යතුරුපැදියක් අතුරු මාර්ගයකට හැරවීමට යාමේදී ඊට පිටුපසින් පැමිණි යතුරුපැදියක් ගැටී අනතුරක් සිදුව ඇත.
අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකාරිය හා යතුරුපැදිකරු දෙහිඅත්තකණ්ඩිය රෝහලට ඇතුළත් කර ප්‍රථිකාර ලබමින් සිටියදී යතුරුපැදිකාරිය මියගොස් තිබේ. යතුරුපැදිකරු වැඩිදුර ප්‍රථිකාර සඳහා පොළොන්නරුව රෝහල වෙත මාරු කර යවා ඇති බව පොලීසිය පවසයි.
මියගොස් ඇත්තේ, පලුදෙනිය, සිරිපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 54 හැවිරිදි කාන්තාවකි. මේ අතර කොකාවැව පොලිස් වසමේ කිවුලේකඩ මාර්ගයේ කොකාවැව ප්‍රදේශයේදී යතුරුපැදියක් මාර්ගයට වැටී තිබූ ගසක අත්තක ගැටී අනතුරක් සිදුව ඇත. අනතුරින් තුවාල ලැබූ යතුරුපැදිකරු ගලෙන්බිඳුණුවැව රෝහලට ඇතුළත් කර ප්‍රථිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.
එලෙස මියගොස් ඇත්තේ, ඉහළබොරලුගොඩැල්ල, කොකාවැව ප්‍රදේශයේ පදිංචිව සිටි 69 හැවිරිදි පුද්ගලයෙකි. මාතර පොලිස් වසමේ වෙලේවත්ත නාවිමන මාර්ගයේ බෙලිගස් හන්දිය ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක ප්‍රථිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක් ගැටී අනතුරක් සිදුව ඇත.
අනතුරින් තුවාල ලැබූ ත්‍රීරෝද රථයේ රියදුරු හා යතුරුපැදිකරු මාතර රෝහලට ඇතුළත් කර ප්‍රථිකාර ලබමින් සිටියදී මාලගොඩ, නාවිමන ප්‍රදේශයේ පදිංචිව සිටි 82 හැවිරිදි යතුරුපැදිකරු මියගොස් තිබේ.