හය දෙනෙකුට මරු කැඳවූ පාලම් පාරුවේ වගකිව යුත්තන් පොලිස් දැලේ

2 weeks ago

සය දෙනෙකුට මරු කැඳවමින් ඊයේ (23) දින සිදු වූ කින්නියා පාලම් පාරු සිද්ධියට සම්බන්ධ අදාළ පාලම් පාරුවේ ක්‍රියාකරුවන් ලෙස කටයුතු කළ පුද්ගලයින් තිදෙනකු කින්නියා පොලිසිය විසින් අද (24) දහවල් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ත්‍රිකුණාමලය - කින්නියා කලපුවේ - කුරින්චාකර්නි ප්‍රදේශයේදී පාලම් පාරුවක් පෙරළී දරුවන් ඇතුළු හයදෙනෙකු මියයෑමත් සමග ප්‍රදේශයේ ඇති වූ නොසන්සුන්තාව සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන බව ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළා.

ඔහු සඳහන් කළේ සමගි ජනබලවේගය නියෝජනය කරන ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එස් තවුෆික්ගේ කින්නියාහි පිහිටි නිවසට පහරදුන් අය මෙන්ම ඇතැම් රාජ්‍ය දේපලවලට හානි කළ අයට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි. එමෙන්ම, පාලම් පාරුව පෙරළීමේ සිද්ධිය පිළිබඳව වහා පරීක්ෂණයක් පවත්වන ලෙසයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් පළාත් පාලන කොමසාරිස් එන්. මනිවන්නන්ට ඊයේ නියෝග කළේ.

ඊයේ ( සිදු වූ මෙම අනතුරෙන් මියගිය 6 දෙනාගෙන් පස්දෙනෙකුම පවුල් දෙකකට අයත් පුද්ගලයන්. කින්නියා කලපුව හරහා ඇති පැරණි පාලම වෙනුවට නව පාලමක් ඉදිකරමින් පැවතීම හේතුවෙනුයි ප්‍රදේශවාසීන් කලපුව හරහා ගමන් කිරීමට මෙම පාලම් පාරුව යොදාගෙන ඇත්තේ. ඊට නගර සභාවේ අනුමැතිය ලබාගෙන තිබුණේ මීට මාසයකට පෙරයි.

ඊයේ (23) උදෑසන 7.30ට පමණ පාලම් පාරුව අනතුරට ලක්වූ අතර, එම අවස්ථාව වනවිට එහි පුද්ගලයින් 30 දෙනෙකු පමණ ගමන් කරමින් සිටියා. පාලම් පාරුව පෙරළීමෙන් පසු ප්‍රදේශවාසීන් කින්නියා නගරයේ බුහාර් මංසන්ධියට පැමිණ විරෝධතාවක නිරත වූ අතර, එහිදී ඔවුන් ටයර් ද ගිනි තබනු ලැබුවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW