නුවර පෙරහැර බලන්න ආපු ප්‍රභූ රකින්න ඇවිත් පවුලක්ම කුසගින්නේ තියලා.(PHOTOS)

Sri Lanka Politician Sri Lanka
By Wayomi Aug 31, 2023 06:32 PM GMT
Wayomi

Wayomi

Report

රටේ ඉහළම ප්‍රභූවරයකු ගමන් ගන්නා මාර්ගයක පෙරමඟට කොස්ගෙඩියක් ද කරේ තබාගෙන ආ පියකු සහ කුඩා දරුවකු එම ප්‍රභූවරයා යන තෙක් අතුරුමාර්ගය රඳවා ගත් පුවතක් ගම්පොළ වාරියගල ප්‍රදේශයෙන් වාර්තා වේ.

ඒ හේතුවෙන් ඔවුනට දහවල් ආහාරයට අහිමි වූ බව එම පියා කියා සිටියේය.

මහනුවර දළදා පෙරහරේ අවසන් රන්දෝලි පෙරහර නැරඹීම සඳහා මෙම ප්‍රභූවරයා මහනුවරට පැමිණ ඇති අතර පෙරහර ආරම්භවීමට පෙර කිසිවකුටත් නොදන්වා වාරියගල ප්‍රදේශයේ පිහිටි සිය ඥාතියකුගේ නිවෙසට දහවල් ආහාර ගැනීමට ගොස් ඇත.

ප්‍රභූවරයා කිසිවකුටත් නොදන්වා මෙම ප්‍රදේශයට පැමිණිය ද ඒ පිළිබඳව දැනගත් ප්‍රදේශය බාර උසස් පොලිස් නිළධාරීන් එම ප්‍රදේශයට පැමිණ තිබේ.

ඒ අතර තුර ප්‍රදේශයේ පදිංචි තිදරු පියකු සිය දහවල් ආහාරයට කොස් ගෙඩියක් සොයාගෙන දරුවා ද සමග ප්‍රභූවරයා ගමන්ගන්නා පෙර මගට පැමිණෙන අයුරු දුටු ආරක්ෂක නිලධාරීන් ඔහුගෙන් කරුණු විමසා ඇත.

දරුවන් තිදෙනා හා බිරිඳ කුසගින්නේ සිටින නිසා කොස්ගෙඩිය තැම්බීමට රැගෙන යන බවද ඔහු පොලිසියට කීවේය. පොලිසිය, කොස්ගෙඩිය රැගෙන ආ පියා හා දරුවා ඔවුන් බාරයට ගෙන අතුරු මාර්ගයට රැගෙන ගොස් ප්‍රභූවරයා ආපසු ප්‍රදේශයෙන් පිටවන තුරු රඳවා තබා ගත් බව ඔහු පවසයි.

මේ හේතුවෙන් අවුරුදු 3 , 7 සහ 9 වයස්වල සිටින දරුවන් හා බිරිඳ හා තමාට එදින දහවල් කුසගින්නේ සිටීමට සිදු වූ බවද ඔහු කියා සිටියේය.

ඔවුන්ගේ නිවස ද සාරි හා තහඩුවලින් වටෙකර සැදූ එකක් වන අතර කිසිදු රැකියාවක් නොමැති ඔහු කුලී වැඩ කර ජීවිකාව ගෙන යන බවද පියා කියා සිටියේය.

- ලංකාදීප -

 

GalleryGallery
ReeCha